Sunday, January 15, 2017

පොත් වෙනුවට ටැබ් දීම

කවුරුත් දන්න මාතෘකාවක්. අය වැයත් එක්ක එලියට ආපු මේ කතාව දැන් රටේ ප්‍රධාන මාතෘකාවක්. මේ ලිපිය පොත් වෙනුවට ටැබ් දීම ගැන tech සයුරේ අදහසයි.
ලෝකයේ හැම රටක්ම වේගයෙන් ලබා ගන්නා තාක්ෂණික මෙවලම්, ක්‍රම හා උපාංඟ අපේ රටට ලැබුණේ බොහෝ කල් ගියාට පසුවය. වෙන එකක් තබා අපේ රටේ නිමැවුම් කරුවන් කල නිපැයුමක් වත් අපේ රට තුල තබා ගැනීමට නොහැකි විය.  සමහරක් ඒවා නිකම්ම අභාවයට ගියහ. ඇතැම් ඒවා නැවතුනේ පිට‍රැටියෙකුගේ දෙපතුල ලඟය. අත් ට්‍රැක්ටරය එකකි. අනෙක නියර රහින යන්ත්‍රය නිපදවා තරුවක් පවා නම් කල කපුගෙදර ඊට හොඳ උදාහරණයන් ය. අපිට බොහෝ තැන් වල වැරදී ඇත. සත්‍ය වශයෙන්ම අපේ රට්ට දැන් තාක්ෂණික දැනුම අත්‍යාවශ්‍යය.
මේ ව්‍යාපෘතියට අනුව පාසල් දරුවන්ට අච්චු ගැසූ පොත් වෙනුවට ටැබ්ලට් පරිගණක ලබා දීමට යයි. මුලින්ම ඒවා උසස් පෙළ දරුවන්ට ලබා දේ. මෙය ඉතා හොඳ වැඩකි. මූලික වියදම අධික උවද දිගු කාලීන වශයෙන් සාර්ථකය. මෙහි වාසි ‍රැසකි.

  • විෂය නිර්දේෂ අලුත් කිරීමට අලුත් පොත් අච්චු ගැසිය යුතු නැත.
  • අතරමගදී උවද පාඩම් සංස්කරණය ද පහසු වෙයි.
  • පින්තූර පමණක් වෙනුවට වීඩියෝ ද ඇනිමේෂන් ද එක්කල හැකිය.
  • පිටේ එල්ලෙන විශාල පොත් බෑගයේ බර අඩුවෙයි.
  • දරුවන්ගේ ඉගෙනීමේ කැමැත්ත වැඩිවේ.
  • නව තාක්ෂණික දැනුම දරුවන්ට ලැබේ.
පාසල් පෙල පොත් වසරකින් ඊළඟට එන සිසුන්ට දිය යුතු වන නමුත් එය සිදු නොවන තරම්ය. වසරක් පාසා සිසුන්ට අලුත්ම පොත් පාසල් වලින් ලබා දෙයි. පැරණි පොත් බොහෝ කලක් අහු මුලු වල තිබී කඩල කාරයන්ගේ හා පත්තර කාරයන්ගේ අතට පත්වේ. ඉතිං එවැනි දුර්වලතා මින් මගහැරේ.

කෙසේ උවත් තවත් දේ සොයා බැලිය යුතුය. මීට පෙර 2009 වර්ෂයේ දෙසැම්බර් 10 වනදා  ළමයින්ට ලැප්ටොප් දෙනවාය කියා එකක් පටන් ගත්තේය. එය නම් ලෝකය පුරා ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියකි. එහි නම OLPC ය. එහි විස්තර මීට පෙර ලිපියකින් පල කර ඇත.

            එම ව්‍යාපෘතිය තබා ලැප්ටොප් ටිකටවත් වෙච්ච දෙයක් නොදනියි. ඒවා කාගේ කාගේ ළඟ දැයි නොදනියි. එසේම මතක තබා ගත යුතු තවත් වැදගත් දෙයක් වන්නේ මේවායේ දෝෂ ගැනය. ටැබ් භාවිත කරන්නේ දරුවන්ය. බිම වැටීම්, හැල හැප්පීම් වලට ඔරොත්තු දුන්නත් ඉඳහිට හෝ දෝෂ ඇති විය හැකිය. පාසල් වලට අලුතින් ලැබෙන පරිගණක පවා සමහරවිට වැඩ කරන්නෙ මාස කීපයක් පමණි.
ටැබ් දෙන්නට කලින් කල් යුතු තව වැඩක් තිබේ. එනම් පාසල් වල පරිගණක වල ඇති ව්‍යාජ මෘදුකාංඟ වෙනුවට නොමිලේ දෙන විවෘත මෘදුකාංඟ (free and open source software) ස්ථාපනය කිරීමයි. අපේ රටට තාම හරිහමන් මෙහෙයුම් පද්ධතියක් නැත. එය නොහැකිනම් දැනට තියෙන ඕපන් සෝස් (හන්තාන ලිනක්ස් වැනි) මෙහෙයුම් පද්ධති පිහි‍ටු විය යුතුයි.
තවත් කාරණයක් වන්නේ ඉතා දුෂ්කර පාසල් වලට මේ ටැබ් කෙසේ උචිත වේද යන්නයි. මේ ගැන බොහෝ වාද විවාද තිබේ. සමහරක් පාසල් වල හරිහමන් ගොඩනැගිල්ලක් වත් නැත. හැකිනම් පළමුවෙන් ඒවායේ යටිතල පහසුකම් දියුණු කල යුතුය. ලොකු පාසල් වලට ටැබ් දී පොඩි පාසල් වලට පොත් දීම අසාධාරණය. ඒවාට මහා ව්‍යාපෘති අවශ්‍ය නැත. එක ඇමති කෙනෙක් වාහනයක් ගන්නා මුදලින් ළමුන් සිය ගණනකට සෙත සැලසිය හැකිය. තැන තැන ගොස් පීකර් පැලෙන්න කෑගැසුවාට ඒවා වෙන්නේ නැත. ටීවී කැමරාව ඉදිරියේ ජවුසන් නැ‍ටුවාට ඒවා වෙන්නෙ නැත.
අවසානයට කීමට ඇත්තේ මේ ව්‍යාපෘතියත් මාස කීපයකින් ආගිය අතක් නොමැතිවන හෝ OLPC, ගූගල් බැලුන් වැනි වෙච්ච දේ සිතාගත නොහැකි හෝ ‍ෆ්‍රී- වයි ෆයි වැනි තේරුමක් නැති ව්‍යාපෘතියක් නොවේවා! යන්නයි.

No comments:

Post a Comment