Monday, September 4, 2017

NFC තාක්ෂණය

අද අවු.12-15 ඉඳල අවු.60-70 වේ අය ලඟ පවා ස්මාර්ට් ෆෝන් තියෙනවා. ඒ වුණාට මේ උපාංඟවලින් උපරිම ප්‍රයෝජන ගන්න අය ගොඩක් අඩුයි. ගොඩක් දෙනෙක් අමතර වැඩක් විදියට කරන්නෙ ඉන්ටනෙට් යන්නයි, ෆොටෝ, වීඩියෝ ගන්න එක විතරයි. ඒ වුණාට ෆෝන් එකේ වගේම තව ගොඩක් උපකරණ වල සැඟවෙලා නැති ඒත් බාවිත නොකර තියෙන තාක්ෂණයක් වෙන NFC (Near field communication) නැත්නම් සමීප උපාංඟ අතර සන්නිවේදනයට යොදාගන්න තාක්ෂණය ගැනයි මේ.
▶සරලව NFC කියන්නෙ...
NFC කියන්නෙ එක් අතකින් තාක්ෂණික නියමාවලියක්. ස්මාර්ට් ෆෝන් එකක් වැනි NFC ඇති ජංඟම උපාංඟයක් හා NFC චිපයක් අඩංඟු උපාංගයක් මෙවැනි පද්ධතියකට සරලව අයත්වෙනවා. ස්මාර්ට් ෆෝන් එක මේ NFC උපාංඟය නැතිනම් ටැගයට 4cm පමණ ආසන්න වුනාට පස්සෙ ජංඟම උපාංඟයේ විදුලියෙන් (විද්‍යුත් චුම්බක ප්‍රේරණයෙන්) මේ ටැග් එක වැඩකරන්න පටන්ගන්නවා. ඊට පස්සෙ ඒකෙ තොරතුරු ෆොන් එක වගේ උපාංඟයකින් ලබාගන්න පුළුවන්. මොබයිල් පේමට් වලට, ඉලෙක්ට්‍රොනික් ටිකට්, ID කාඩ් වල වගේම සමහර ක්‍රෙඩිට් කාඩ් වලත් මේ තාක්ෂණය යොදා ගන්නවා. NFC වෙනුවට මේ තාක්ෂණය CTLS (Contact less) ලෙසත් හඳුන්වනවා.
▶වැඩ කරන්නෙ කොහොමද?
NFC ටැග් වල තියෙන විශේෂත්වය තමයි ඉතාමත් අඩු විදුලි බලයකින් ක්‍රියාත්මක වෙන එක. NFC ටැග් එකක පරිපථය බැලුවොත් දඟරයක් විදිහට හදපු සන්නායක කොටසක් දැකගන්න පුළුවන්. මේ කොටසෙන් තමයි ටැග් එකේ චිප් එක වැඩ කරන්න ඕනි විදුලිය නිපදවන්නෙ. ඒ කියන්නෙ විද්‍යුත් චුම්බක ප්‍රේරණය නැත්නම් සරලවම කිව්වොත් ට්‍රාන්ස්ෆෝමරයක වෙන සංසිද්ධියට සමාන ක්‍රියාවලියක් තමයි වෙන්නෙ. මේකට දුරකථනයෙ තරංඟවලින් නිපදවෙන ශක්තිය හොඳටම ප්‍රමාණවත්.තව වැදගත් දෙයක් තමයි මේ ටැග් එක්ක සංනිවේදනය කරන්න ඒවා එකතු කරන්න (pairing) අවශ්‍ය නොවීම.
▶ප්‍රයෝජන
සරල උපාංඟයක් වගේම පහසුවෙන්, අඩු වියදමෙන් නිපදවන්න පුලුවන් නිසා මේ තාක්ෂණය විවිධ අවස්ථාවල යොදා ගන්නවා. ස්මාර්ට් ෆෝන්, ස්මාර්ට් වොච් වල තොරතුරු සන්නිවේදනය කරන්න මෙය බාවිතා කරනවා. විද්‍යුත් ගණුදෙනු, මොබයිල් පේමන්ට් කටයුතු වලට මේ තාක්ෂණය බහුලවම යොදා ගන්නවා. සාම්ප්‍රදායිකව පසුම්බියෙන් මුදල් දීම හෝ ක්‍රෙඩිට් කාඩ් එක දීම වෙනුවට ටර්මිනලයකට ෆෝන් එක ලං කර එම ගණුදෙනුව කිරීමට මේ තාක්ෂණයෙන් හැකියාව ලැබෙනවා. ඇන්ඩ්‍රොයිඩ් OS එක ක්‍රියාත්මක වෙන දුරකතන වෙල මේ තාක්ෂණය බහුලව යොදාගනු ලබනවා. ගණුදෙනු කටයුතු සඳහා Android pay, Samsung pay කියන සේවාවන් දැනටමත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම Android 4.0 Ice Cream Sandwich සංස්කරණය ඔස්සේ හඳුන්වාදුන් දුරකතන දෙකක් අතර ෆොටෝ, වීඩියෝ හුවමාරුවට යොදා ගන්න Android beem තාක්ෂණයත් NFC පදනම් වූවක්. ඇපල් දුරකතන වල හා ඇපල් වොච් උපාංග සමගත් ගණුදෙනු සඳහා Apple pay සේවාව ඇපල් සමාගම ලබාදෙන අතර මයික්‍රෝසොෆ්ට් සමාගම Microsoft wallet මගින් මේ තාක්ෂණය බාවිතා කරනවා. මීට අමතරව හැඳුනුම්පත්, පුස්තකාල කාඩ්පත්, ව්‍යාපාරික කාඩ් පත් තුල මේ තාක්ෂණය බහුලව යොදා ගනු ලබයි. ඒවගේම NFC tag තියෙන බෑන්ඩ්, කී ටැග් වගේ ඒවත් දැන් තියෙනවා.
NFC තාක්ෂණය එක් කර ඇති පරිගණක උපාංඟද පවතී. එමගින් එය බාවිතා කරන්නාට ඉතා පහසුවෙන් එම උපකරණ තම පරිගණකය හා සම්බන්ධ කර ගැනීමේ හැකියාව ලැබේ. උදාහරණ ලෙස යම් උපකරණයකට අවශ්‍ය driver software ඇති අඩවි සෙවීම වෙනුවට එහි ඇති NFC chip එකෙහි අධාරයෙන් එම මෘදුකාංඟ ස්ථාපනය කිරීමට හැකිය. බ්ලූටූත් හෙඩ්සෙට් වැනි උපකරණ සාමාන්‍ය අකාරයට pairing කරනු වෙනුවට වේගවත්ව NFC යොදාගෙන සම්බන්ධ කල හැකිය. නවීන ක්‍රීඩා උපකරණ වල ක්‍රීඩකයාගේ තොරතුරු ‍රැඳවීමට ඒවාට සවි කරන ලද NFC chip  යොදා ගන්නවා.

▶ආරක්ෂාව කොහොමද?
බැලූ බැලමටම මේ තාක්ෂණය තරමක් අවධානම් තත්වයක් තියෙනවා කියලා පේනවා. විවෘත අවකාශයෙන් නිදශසේ තොරතුරු හුවමාරු වෙන නිසා ඒ තොරතුරු අන් අයට පත් වෙන්න පුළුවන් කියල හිතෙනවා. නමුත් මේ තාක්ෂණය ඊට වඩා ආරක්ෂිතයි. සරලවම උපකරණ දෙක අවශ්‍ය පරිදි ආසන්න වන තුරු මේ ක්‍රියාවලිය සිදුවන්නේ නෑ. ඒ වගේම යම් ගෙවීමක් කරන විට, ක්‍රෙඩිට් කාඩ් අංක හා වෙනත් තොරතුරු උපකරණ හරහා කිසිසේත්ම සංසරණය වෙන්නෙ නෑ. තවත් අතකින් බැලුවොත් මේ දත්ත encrypt කරල නිසා වෙන කෙනෙක් අතට පත් වුනත් වැඩක් වෙන්නෙ නෑ. කවුරු හරි කෙනෙක්ට ගෙවීමක් කරනවනම් ඒක තහවුරු කිරීමක් අනිවාර්ය්‍යයෙන්ම කරන්න ඕනි හින්ද හොරකම් වලට ඉඩක් නෑ.




***බ්ලොග් වසන්තයෙන් සම්මාන ලැබුණු හැමෝටම 
tech සයුරෙන් උණුසුම් සුබ පැතුම්!***

No comments:

Post a Comment