ලෝකෙටම තරු පෙන්නූ සයිබර් ප්‍රහාරය

ඉකුත්දා රටවල් 100ක පමණ ප්‍රමාණයක රෝහල්, පාසල්, සමාගම් හා රාජ්‍ය කටයුතු වලට අදාල පරිගණක අඩපණ කරමින් ‍රැන්සම්වෙයා වර්ගයේ මැල්වෙයා වැඩසටහනක් පැතිරී ගියා. මෙය ඉතා දරුණු ගණයේ සයිබර් ප්‍රහාරයක් බව එයින් කර ඇති බලපෑම මගින් පෙනී යනවා.
‍➢රැන්සම්වෙයා යනු?

                        රැන්සම්වෙයා කියන්නේ නරක වැඩසටහනක්, සරලවම කිව්වොත් වෛරසයක්. මේ වර්ගයේ වැඩසටහන් පරිගණක වලට ඇවිත් ඒ පරිගණකයේ පාලනය වෛරසය සතු කරගන්නවා. ඊට පස්සෙ ඒකෙන් නිදහස් වෙන්න කප්පම් මුදලක් ඉල්ලනවා. සාමාන්‍ය අපරාධ කරුවෙක් හොයනවාට වඩා මේ වගේ සයිබර් අපරාධයක් කරන කෙනෙක්ව කො‍ටු කරන එක ලේසි නෑ. මොකද මේ හැකර් කරුවා තමන්ගෙ අනන්‍යතාවය, ස්ථානය උපරීමෙන්ම සඟවල තමයි මේ හැම දේම කරන්නෙ.

වෙච්ච විනාසේ
ඇවාස්ට් ඇන්ටි වෛරස් සමාගමට අනුව "WanaCrypt0r 2.0" නමින් හැඳින්වුණ මේ වෛරසය රටවල් 99ක පරිගණක 100,000 කට අසාදනය වෙලා .රුසියාව, යුක්‍රේනය, තායිවානය ප්‍රධාන ලෙස මේ ප්‍රහාරයට ලක්වෙලා තියෙනවා. බ්‍රිතාන්‍යයේ රෝහල් 20 කට අධික ප්‍රමාණයකුත්, FedEX ඇතුලු ප්‍රධාන සමාගම් කීපයකුත් මේකට ගොදුරු වෙලා. ලෝකයේ දැවැන්තම වාහන නිපදවන රෙනාල්ට් හා නිසාන් සමාගම් නිවේදනය කර ඇත්තේ ඔවුන්ගේ පරිගණක මේ ප්‍රහාරයට ලක් ව ඇති බවයි. රුසියාවේ බැංකු වලටත්, ජර්'මනියේ දුම්රිය කටයුතු වලටත් මේකෙන් බාධා සිදුවුණා.
Wanna Decryptor වයිරසය
මේ වැඩසටහන ඇමරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සියෙන් (National Security Agency) පිටවූ හැකින් වැඩසටහනක අලුත් සංස්කරණයක් කියල තමයි කියන්නෙ. මේ වැඩසටහන "Shadow Brokers" නම් කණ්ඩායමක් විසින් අන්තර්ජාලයට මුදාහැරල තියෙනවා. පරිගණක ජාල වල සැරිසරමින් කරදරකාරි ඊමේල් (phishing email) වලින් හා වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වල දෝෂ සහිත සිදුරු (security holes) වලින් පරිගණනකයට ඇතුල්වෙනවා. වෛරසය ක්‍රියාත්මක වුණාට පස්සෙ පරිගණකයේ ෆයිල් කේතනය(encrypt)  කරනවා. ඊට පස්සෙ ඒවා නැවත ලබා ගන්න කප්පම් සල්ලි දෙන්න කාලයක් ලබා දෙනවා. නැත්නම් ඒ ෆයිල් ඔක්කොම ඒකෙ අයිතිකාරයට නැතිවෙනවා. මේ ප්‍රහාරයට වැඩි හරියක් ගොදුරු වුණේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියි.
භයානක කම
වාර්තා වලට අනුව මේ ප්‍රහාරයට රෝහල් වල පරිගණක බොහෝමයකුත් ලක් වෙලා. ඉතින් මිනිස් ජීවිතත් සමග ගණුදෙනු කරන පරිගණක පද්ධති වලට මේවගේ ප්‍රහාරයක් එල්ල වුණාම, රෝහල් වල පරිගණක පද්ධති වල ආරක්ෂාව ගැන දෙවරක් සිතන්නට වෙනවා. අනෙක් කරුණ වන්නේ මේ වෛරසයට පිළියමක් යෙදූවද හැකර් කරුවාට මේ වැඩසටහනට වඩා ප්‍රබල වෛරසයක් සාදා මීටත් වඩා ප්‍රභල ප්‍රහාරයක් දියත් කිරීමද කල හැකිය. අනෙක ඇමරිකාව වැනි රටක ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන්ම හැකින් වැඩසටහනක් පිටවීම? තව දුරටත් සිතිය යුතුය.
බේරිල්ලක් නැද්ද?
මේ උවදුරෙන් බේරෙන්න නම් පුලුවන්තරම් ඉක්මනට වින්ඩෝස් අප්ඩේට් ඉන්ස්ටෝල් කරගන්න. පරන මෙහෙයුම් පද්ධති වලින් අලුත් ඒවට මාරුවෙන්න. වෛරස් ගාඩ් එක අප්ඩේට් කරගන්න. කිසිම වෙලාවක නාදුනන ඊමේල් හරහා එන ෆයිල් ඩවුන්ලෝඩ් කරගන්න එපා. නොදන්න සයිට් වලින් ෆයිල් ඩවුන්ලෝඩ් කරගන්න එපා.

 ➣අපේ රටට කොහොමද?
තාම නම් අපේ රටට මේ ප්‍රහාරයේ බලපෑමක් වෙලා කියල දැනගන්නට නෑ. ඒත් හැමකෙනෙක්ම තමන්ගේ පරිගණක අප්ඩේට් කරල ගොඩක්ම වැදගත් ෆයිල් එහෙම බැකප් කරලා තියාගන්න එක ගොඩක් හොඳයි.

මේ Wanna Decryptor ‍රැන්සම්වෙයා සයිබර් ප්‍රහාරය ගැන බලනකොට ටිකක් සැක සහිත බවකුත් නැතුවාම නොවේ. ලෝකයම දණ ගැස්සීමට තරම් සූර වෛරසයක් හදන එක්කෙනෙකුට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ කියන්නේ කවුරුවත් නොදකින පැත්තක්, සයිබර් ප්‍රහාරයකට එහා ගිය දෙයක් මේකෙ තියෙන්න පුළුවන්.
Previous
Next Post »