කුලරත්නෙ 50 ට මම හදපු රොබෝ

මේ මාසෙ 16 වෙනිදට ගොඩකවෙල කුලරත්තන මධ්‍ය මහා විද්‍යාලයට අවුරුදු 50 ක් සපිරෙනවා. වසර 50 ක කාලයක් පුරාවට දස දහස් ගණනකට ශිල්ප ලබා දෙමින් විවිධ වෘතීය ක්ෂේත්‍ර වල ඉහල තල දක්වා යෑමට හා ජීවිතයේ හරි මග පෙන්වීමට කුලරත්න විදු මවුන්ගෙන් සිදු වූ මෙහෙය අති මහත්ය. මා හට පරිගණකයක් නොමැති කාලයේ, පරිගණකයකින් වැඩ කිරීමට ලැබුණේ පාසලේ පරිගණක විද්‍යාගාරයෙනි. මා අද කරන බොහෝ වැඩ සිදුවන්නේ ඒ ලබා ගත් දැනුමටත්,  ශිල්ප ලබා දුන් ගුරු මව් පියවරුන්ටත් පින් සිදු වන්නටය.
මේ දවස් කීපයේ බ්ලොග් බලන්නට තබා ඊමේලය වත් හරිහැටි බලා ගැනීමට නොහැකි වුණේ ප්‍රදර්ශණයේ වැඩ වලට සහය දුන් නිසාය. මේ රොබෝ හදන්න අමතර කොටස් සියල්ල ලැබුණේ රොෂාන් සර් ගේ අනුග්‍රහයෙන්. ඒ දෙස විස්මයෙන් බලා සිටින කුඩා සිසුන් ගේ ප්‍රතිචාර නිසා රොබෝ හැදුවාට වඩා සතුටක් ලැබුණි. ඔවුන් මේ නිර්මාණය දැක තාක්ෂණයට ඇති උනන්දුව වැඩි වූවා නම් මා ලබන ලොකුම සාර්ථකත්වය එයයි .රොබෝ තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය තවදුරටත්  අපේ රටට ආගන්තුක විය යුතු නැත. මාගේ හතරවන රොබෝ නිර්මාණය වන මේ රොබෝගේ නම ඔප්ටිමස්(Optimus) ය.
               මෙය සරල රේඛා අනුගමනය කරන රොබෝවකි (Line Following Robot). ඊට අමතරව බාධක හඳුනා ගෙන ඒවා ‍රැගෙන ගොස් නිවැරදි ස්ථානයේ තැබීමේ හැකියාවද මේ රොබෝට තිබේ. ආලෝක සංවේදී සංවේදක මගින් රේඛා අනුගමනය කරන අතර බාධක හඳුනා ගැනීමට සෝනාර් තාක්ෂණය යොදා ගෙන තිබේ. ලිපිය අවසන් කිරීමට පෙර රොබෝ සාර්ථක කර ගැනීමට මා හට විශාල සහයක් දුන් රොෂාන් ගුරුතුමාටත්, නන් අයුරින් සහය දැක් වූ සැමටත් හද පිරි ස්තූතිය පිරිනමමි.



ප.ලි: මේ වගේ රොබෝ කෙනෙක් හදන හැටි ඉදිරි ලිපි වලින් දැනගන්න
Previous
Next Post »