ඇත්තටම විදුලිය පිරිමහනවද?

                ඉතිං ඉතිං... ගොඩ කාලෙකට පස්සෙ... විභාගෙන් පස්සෙ ‍ෆ්‍රී වෙයි කියල හිතුවට ආෆ්ට(ර්) එක්සෑම් වැඩිපුරම බිසී උනේ! ෆෙස් බුක් එකට ගොඩ උනත් බ්ලොග් එක පැත්තෙ එන්න බැරි උන එකට පොඩි අප්සට් එකක තමයි හිටියෙ.. හරි හරි.. දැන් ඒ ඒවයෙන් වැඩක් නෑ... බහිමු මාතෘකාවට.

මෑතකදී සිදුවුණු විදුලි බිඳවැටීම කාටත් මතක ඇති. පැය 24 ම තිබුණු එක පැය 7ක් නැතිවුණාම ගොඩක් අයට දරාගන්න බැරි වුණා...! එක එක්කෙනා එක එක අයට බනිනවා. ඇත්තටම මේ ඔක්කොම කේස් ආවෙ ට්‍රාන්ස්ෆෝමරයක් පිපිරුණ එකෙන් නොරොච්චෝලෙ අක්‍රිය වුණු හින්දා.... ඒකෙන් මෙගා වොට් 600 ක විතර පද්ධතියට අහිමි වුණා. 
                                ඇත්තටම මෙහෙම වෙන්නෙ මුලු පද්ධතියෙම ආරක්ෂාවට. යම් තැනක ප්‍රභල බිඳ වැටීමක් වුණාම අනෙක් ඒවාට සිද්ධවෙන හානිය වලක්වන්න. ඒ අහිමි වුණ ධාරිතාව පෞද්ගලික බලාගාර වලින් ගන්න ගියා නම් ඉතා විශාල මුදලක් ඒකට වැයකරන්න වෙනවා. ට්‍රාන්ස්ෆෝමර් පිපුරුවෙ ඇයිද, කරන්න ඕනි මොක්ද්ද කියල මං කියන්න යන්නෙ නෑ. මොකද මං ඒ ගැන හරියටම දන්නැති හින්දා. හැබැයි එක දෙයක් කියන්න ඕනි. මේ සිද්ධිය විතරක් නෙවෙයි. මොනයම් හෝ කුඩා බිඳවැටීමක් වුණාම ඒක පිළිසකර කරන්න විදුලි බල මණ්ඩලයේ සේවකයෝ ලොකු කැපකිරීමක් කරනවා... ඒ හන්දා විදුලි විසන්ධියකදි ඒ අයගෙ අම්මල, පවුලෙ අයව මතක් කරල වැඩක් නෑ. ඉවසන්න ඕනි පොඩි වෙලාවක්...
හරි... මන් කියන්න හදන්නෙ තවත් වැදගත් දෙයක් ගැන. අපිට නොදැනීම අපි කරන විදුලි නාස්ති කිරීම් ගැන. මේවා පොඩියට තිබුණට ලොකු දේවල්. පොඩ්ඩක් හිතන්න තමංගෙ මොබයිල් ෆෝන් එක චා(ර්)ජ් එකට ගහල ගලවනකොට කීයෙන් කී දෙනාද ෆෝන් චා(ර්)ජර් එක ප්ලග් එකෙන් ගලවල අයින් කරන්නෙ? සමහර වෙලාවට උදේ ගහපු එක ආයෙ රෑ වෙලා චා(ර්)ජ් එකට ගහනකම් ඔන් එකේ. ෆෝන් එක ගැලෙව්වට චා(ර්)ජර් එක නොගැලෙව්වොත් යම් විදුලියක් නිපදවෙනවා කියල දන්නවනෙ. ඉතින් මේක ගෙවල් ගොඩක සිදුවෙනකොට.... අනික තමයි වැඩකට නැති බල්බ් නිවන්න කියලා ටීවි එකේ ඇඩ් දාලා කිව්වත් වැඩක් නෑ. "අනිත් එවුන්ට හොඳ නම් අපිටත් හොඳයි" කියලා ඉන්නවා. ඒ හන්දා එකෙක්වත් හැදෙන්නෙ නෑ... ඒ හින්දා දැන් ඉදන්වත් පුරුදු වෙන්න... කාමරයකින් එලියට යනකොට ලයිට් එක නිවලා ෆෑන් එක ඕෆ් කරල එලියට යන්න. හැබැයි ගොඩක් අය ෆ්‍රිජ් එක නම් ඕෆ් කරනවා මොකුත් නැති වුණාම. මොකද ඒකෙන් වෙන වැඩිවීම පර්ස් එකට ටිකක් දැනෙන හින්දා.... 
ඊළඟ කාරනය තමයි උපකරණ ස්ටැන්බයි තත්වයේ තැබීම. සරලව කිව්වොත් ටීවි එක රිමෝට් එකෙන් ඕෆ් කරල ප්ල්ග් එකෙන් ඕෆ් නොකර ඉන්න එක. ඒ වගේම කොම්පියුටරය ස්ලීප්(sleep) කරල තියන එක. සෙටප්, හෝම් තියේටර්, ප්ලෙයර් මේ හැම දේකටම මේ කාරණය අදාලයි. ස්ටෑන්බයි අවධියේ තියෙන උපකරණ ක්‍රියා නොකරනවා වගේ පෙනුනත් නැවත ක්‍රියාත්මක වන්න විදානයක් ලැබෙන විට ඉක්මනින් ක්‍රියාත්මක වන්න උපකරණයේ අභ්‍යන්තර පරිපථ සූදානමේ පැවැත්වීමට යම් විදුලියක් වැයවෙනවා... 
හොඳට හිතුවොත් අපිට හිතාගන්නවත් බැරි විදියට විදුලිය ඉතුරු කරන්න පුලුවන්. බත් උයන්න උනත් රයිස් කුකර් වෙනුවට, වතුර උණු කරන්න හීටර් වෙනුව හැකි හැම විටම දර ළිපක් භාවිත කරන්න. මේ කියන හැමදෙයක්ම ප්‍රායෝගිකව හැමෝටම ක්‍රියාත්මක කරන්න බැරි වෙන්න පුලුවන්. ඒත් පුලුවන් කම තියාගෙන කරන්න පුලුවන් පොඩි දේත් නොකර ඉන්න එපා... උදාහරණයක් විදියට අපේ ගෙදර තාමත් රෙදි මදින්නෙ පොල් ක‍ටු අගුරු ඉස්තිරික්කයකින්. ඒකෙන් සුපිරියට රෙදි මැදෙනවා කියලා ඒක පාවිච්චි කරපු අය දන්නවා... ඒත් දැන් පොල් ක‍ටු අගුරු ඉස්තිරික්කයක් හොයාගන්නවත් තියෙනවද කියල දන්නෙනෑ... අපේ ගෙදරට ඉස්සර ප්‍රධාන විදුලිය නොතිබුණ කාලයේ සූර්්‍ය කෝෂයකින් තමයි බල්බ් පත්තු ක්ලේ. ඒත් ප්‍රධාන විදුලිය ආවා කියල ඒක අහකට දැම්මෙ නෑ. අදටත් සමහර කාමර වලට එළිය දෙන්නෙ ඒකෙන්. ලයිට් කපපු වෙලාවට වටේම ගෙවල් අඳුරෙ තියෙද්දි අපේ ගෙදර හොඳට එලිය තියෙනවා;) .ඒ වගේම සාමාන්‍ය බල්බ් වෙනුවට CFL නැත්නම් වඩාත් හොඳයි LED භාවිතයට හුරු වෙන්න. මූලික පිරිවැය වැඩි වුණාට දීර්ඝ කාලීනව හොඳ ඉතිරි කිරීමක් වෙනවා. ඒක තමංගෙ ආර්ථිකයට වගේම රටේ ආර්ථිකයටත් ගොඩක් හොඳයි. 
මේ ටික ලියන්න හිතුවෙ ගොඩක් අය මේ දේවල් ගැන වැඩිය හිතන්නෙ නැති නිසා. පොඩ්ඩක් හිතන්න. අනෙක් අය කරනකම් බලා ඉන්නෙ නැතුව තමං උත්සහ කරන්න.. අනිත් අයටත් කියන්න...
Previous
Next Post »