මල්ටි ප්ලග් එකක් පාවිච්චි කරනවද? මේ ගැනත් හිතන්න...

කවුරුත් දන්නවනේ මල්ටි ප්ලග් එකක් කියන්නෙ මොකක්ද කියලා. විදුලි උපකරණ කිහිපයක් එකවර විදුලියට සම්බන්ඳ කරන්න ඒක යොදා ගන්නවා. ඒත් මේ මල්ටි ප්ලග් එකක් පාවිච්චි කරන කොට දැනුවත්ව ඉන්න ඕනි කරුණු කිහිපයක් තියෙනවා. ඒකට හේතුව තමයි ප්‍රධාන විදුලි සබඳතාවයත් එක්ක අපි වැඩ කරන කොට ආරක්ෂාව ගැන හොඳට කල්පනාකාරී වෙන්න ඕනි එක.
හොඳ මල්ටි ප්ලග් එකක් ‍තෝරා ගන්නෙ කොහොමද?
ගොඩක් අය මල්ටි ප්ලග් එක හොයන්නෙ වැඩේ කට උඩ තියාගෙන. ඒ හින්ද අතට අහුවෙන එක අරගෙන යනවා. නමුත් මල්ටි ප්ලග් එකක් ගන්න කොට හොඳට හොයල බලල ගන්න ඕනි. මුලින්ම බලන්න ඕනි ‍ෆියුස් එකක් (විලායක) තියෙනවද කියලා. ‍ෆියුස් එකෙන් කරන්නේ වැඩි ධාරාවක් ගැලීමක් වුණෝතින් උපකරණ වලට සිදුවෙන හානිය වලකන එක. ඊළඟට මල්ටි ප්ලග් එකේ වයර් එකයි පේනුව(Plug)  ගැනයි බලන්න ඕනි. මේකට සම්බඳ කරලා තියෙන ප්ලග් එක අනිවාර්‍යයෙන්ම තුන්කූරු පේනුවක් වෙන්නම ඕනි. ගොඩදෙනෙක් තුන්කූරු පේනුවෙ තියෙන භූගත අග්‍රය (Earth) ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නෑ.. මේක ආරක්ෂාවට ගොඩක් වැදගත්. විදුලි උපකරණයක් ක්‍රියාත්මක වෙනකොට හදිසියේ හෝ සිදුවන විදුලි කාන්දු වීම් මේ භූගත අග්‍රය හරහා භූගත කරනවා. ඒ හින්දා ඒක පාවිච්චි කරන කෙනාට විදුලි සැර වදින්නෙ නෑ. තමන්ගෙ කොම්පියුටරේ මොනිටරය CRT එකක් තියෙන සමහර අයට නම් මේ අත්දැකිම ඇති. මල්ටි ප්ලග් එකේ අර්ත් එක එහෙම නැත්නම් භූගත අග්‍රය නැත්නම් හරි හරියට සම්බන්ඳ වෙලා නැත්නම් හරි මොනිටරයෙ තිරය ස්පර්ෂ කරන කොට විදුලි සැර වදිනවා. ඒ වගේම මල්ටි ප්ලග් එකක නිමාව ගැනත් බලන්න ඕනි. පහසුවෙන් නොකැඩෙන සවිමත් ප්ලාස්ටික් වලින් නිපදවුණ එකක් නම් තමයි හොඳ.

 භාවිත කරන අන්දම.. 
 දැන් තමයි වැදගත්ම කොටසට ආවෙ. මල්ටි ප්ලග් එකක් පාවිච්චි කරන්නෙ විදුලි උපකරණ කිහිපයක් එකවර සම්බන්ඳ කරගන්න වුණත් ඒවටත් සීමාවක් තියෙනවා. ඒකට හේතුව තමයි මල්ටි ප්ලග් එකකට දරාගන්න පුලුවන් සීමාවක් තියෙනවා. විශේෂයෙන් වැඩි ධාරාවකින් ක්‍රියාත්මක වෙන උපකරණ කිසිවිටකත් මල්ටි ප්ලග් හරහා සම්බන්ඳ කරන්න හොඳ නෑ. රයිස් කුකර්, හීටර්, ඉස්තිරික්ක වගේ උපකරණ උදාහරණයට ගන්න පුලුවන්. එහෙම නැතිව සම්බන්ඳ කරන කොට මල්ටි ප්ලග් එක රත්වෙන්න ගන්නවා. ගින්නක් වෙනකන් දුරදිග යන්න මේක හොඳටම ඇති. මල්ටි ප්ලග් එක ඇතුලෙන් බොහෝ වෙලාවට අග්‍ර එකිනෙක අමුණලා තියෙන්නෙ පොඩි වයර් නැත්නම් යකඩ පතුරු වලින්. ඒ හින්ඳා එවට වැඩි ධාරාවකට ඔරොත්තු දෙන්න අමාරුයි. නමුත් ඩ්‍රිල් එකක් වගේ එකක තියෙන වයර් එකේ දිග ප්‍රමාණවත් නැති නිසා අපිට මල්ටි ප්ලග් එකක් ඕනි වෙනවා. ඒකට විසඳුමක් තියෙනවා. ඒ තමයි අපේ ගෙවල් වල තියෙන ප්ලග් පොයින්ට් එකක් අලුතෙන් අරගෙන ඒකට වයරින් කරන වයර් 2ක් සවි කරලා හදාගන්න එක. ඒකට වැඩි ධාරාවකට ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා. හැම වෙලාවකම මල්ටි ප්ලග් එක පිරිසිදුව තියාගන්න බලන්න. වතුර, දූවිලි වලින් ඈත් කරල තියන්න. මාසයකට වතාවක් වත් පරික්ෂා කරලා පිරිසිදු කරලා තියන්න. යම් තැනක ප්ලාස්ටික් උණුවෙලා වගේ තියනවනම් එය භාවිතය තරමක් අනතුරුදායක විය හැකිය.
Previous
Next Post »