යුනික්ස් (UNIX)

අද භාවිතයේ ඇති සෑම ඩෙස්ක්ටොප්, ලැප්ටොප් හෝ ටැබ්ලට් පරිගණක උපාංගයකටම ක්‍රියාත්මක මෙහෙයුම් පද්ධතියක් ඇත. මේ මෙහෙයුම් පද්ධති අතරින් බොහෝමයක් බිහිවීමට මග පෑදූ එක් විශිෂ්ඨ ගණයේ මෙහෙයුම් පද්ධතියක් තිබේ. ඒ යුනික්ස් (UNIX) ය. දැනට ලොව පුරා ජනප්‍රියව ඇති මෙහෙයුම් පද්ධති සිය ආරම්භයේදී කෙදිනක හෝ යුනික්ස් හි අභාෂය ලබා තිබේ. ඇතැම් ඒවා යුනික්ස් ප්‍රධාන කේත සටහන මතම පදනම් වූ ඒවාය.
      යුනික්ස් නිර්මාණය කරනු ලැබුවේ කෙන් තොම්සන්(Ken Thompson) සමග ඩෙනිස් රිච් (Dennis Ritchie) විසින් මීට අවුරුදු 45 කට පෙර,එනම් 1969 වසරේදීය. ඔවුහු මෙය නිර්මාණය කලේ විකිණීමේ අදහසින් හෝ ප්‍රසිද්ධ කිරීමට නොවේ. එයට අපූරු කතාවක් තිබේ...
1960 වසරේදී භාවිතයේ තිබූ මේන් ෆ්‍රේම් පරිගණකයක් වූ GE 645 ට සරිලන උසස් ගණයේ මෙහෙයුම් පද්ධතියක් තැනීමට ඇමරිකාවේ මැස්චුසෙට් තාක්ෂණ ආයතනය, බෙල් ලැබ්ස් (AT & T Bell) ආයතනය උත්සහයක නිරත විය. එහි ප්‍රතිඵලයක් ලෙස මල්ටික්ස්(Multics) නම් මෙහෙයුම් පද්ධතියක් බිහිවිය. විකිණීමේ අටියෙන් නිපදවූද එය සාර්ථක නොවීය. මේ කාර්ය්‍යේ නිරතව සිටි මෘදුකාංඟ ඉංජිනේරුවෙකු වූ කෙන් තොම්සන් ස්පේස් ට්‍රැවල් නම් (Space Travel) පරිගණක ක්‍රීඩාවක් නිර්මාණය කලේය. නමුත් එය මේන් ෆ්‍රේම් පරිගණක වල නිසි ආකාරව ක්‍රියාත්මක නොවිණි. මේ නිසා එයට ගැලපෙන නව මෙහෙයුම් පද්ධතියක් තැනීමට ඔහුට සිතුනි. ඔහුගේ මල්ටික්ස් ව්‍යාපෘතියේදී මිතුරෙකුව සිටි ඩෙනිස් රිච් සමග එක්ව DEC PDP-7 පරිගණකයට ගැලපෙන ලෙස මේ මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කලේය. 
හුදෙක් ක්‍රීඩාවක් ක්‍රියාත්මක වීම සඳහා නිර්මාණය කරන ලද මේ මෙහෙයුම් පද්ධතිය නව මාදිලියේ නව මෙහෙයුම් පද්ධතියක් ලෙස දියුණු කිරීමේ කටයුතු ඇරඹුණේ මෙය ඉතා හොඳ තත්වයක තිබුණු බැවිණි. ඉන් පසු මෙයට අලුත් නමක් ද යෝජනා විය. ඒ යුනික්ස් ය. 1971 දී බෙල් ලැබ් ආයතනය යුනික්ස් දියුණු කිරීමට මුදල් ලැබිණි. ඉන් පසු යුනික්ස් ජනප්‍රිය ඇරඹිනි. විශ්ව විද්‍යාල, තාක්ෂණික ආයතන ආදී ආයතන වල යුනික්ස් ඉතා ජනප්‍රිය විය. යුනික්ස් සතුව තිබූ නම්‍යශීලී බව හා භාවිතයේ පහසුව ඊට හේතුව විය.
මයික්‍රෝසොෆ්ට් සමාගම ඉදිරිපත් කල සෙනික්ස්(Xenix), සන් මයික්‍රෝසිස්ටම් හි සන් ඕඑස් (Sun OS), ඇපල් සමාගමේ ආරම්භක මෙහෙයුම් පද්ධතිය වන නෙක්ස්ට්(NeXT) මතු නොව විවෘත කේත(Open Source) මෙහෙයුම් පද්ධතියක් ලෙස ලෝකයේම ප්‍රසිද්ධ වන ලිනක්ස් (Linux) පවා නිමවා ඇත්තේ යුනික්ස් හි ප්‍රධාන කේත සටහන ඇසුරෙන් තැනූ වෙනත් මෙහෙයුම් පද්ධති ඇසුරිනි.
කෙන් තොම්සන් හා ඩෙනිස් රිච් යන උදාර මිනිසුන් දෙදෙනාගේ ඒ උදාර වෑයම නිසා බිහි වූ යුනික්ස් අද පරිගණක ලොව නමක් දිනා සිටින බොහෝ මෙහෙයුම් පද්ධති වල තිඹිරි ගෙය විය. මේ නිසා ඔවුනට ටූරින් (Turing Award) හා තාක්ෂණය පිලිබඳ ජාතික සම්මානය(Natinal Award for Technology) පවා හිමි විනි.

Previous
Next Post »